Friday, December 17, 2010

චූටි දූ


කළුවරට එක්කාසු වුන රතු පාට ඉර එළිය මැදින් ගේ කුරල්ලෝ උන්ගෙ ගෙවල් හොයාගෙන මහ කළබලෙන් වගේ යනව. හරියට මේ දැන් ගෙවල් මතක්වෙලා වගෙයි. වෙලට ආව ගිරවුන්ගෙත් දැන් වැඩි සද්දයක් නෑ. උනුත් එකා දෙන්න කැදලි වලට යන්න යනව. කොහොම වුනත් ඉස්සර මේ වෙලාවට පුදුම ලස්සනක් තිබුණ. මට මතකයි චූටි දූයි මායි මෙතනටවෙලා වී කන්න ආපු ගිරවුන්ගෙ දාන්ගලේ දිහා බලා ඉන්නව. මමත් එකපාරට උන් එළවන්න යන්නෙ නෑ. චූට් දූ හරිම ආසයි හැමදාම මෙතනටවෙලා ඔහේ කියව කියව වෙල දිහා බලා ඉන්න. ඒ ගමන් මගෙන් අහනව ගිරවුන්ගෙ කට රිදෙන්නෙ නැද්ද කියල. කෙල්ල දන්නෙ නෑ ඒකිගෙ කටත් ගිරවුන්ට දෙවනි නෑ කියල. මට මතකයි ඒ දවස්වල මුළු ගේම පිරිල කෙල්ලගෙ කතාවෙන්. කෙල්ල ලෙ‍ාකු ළමයෙක් වුනා කියල ඒකිගෙ හුරතලේ අඩුවුනේ නෑ.
ඒත් කාලය ගෙවිල ගිහිල්ල දූ විභාගෙ පාස් වෙලා විශ්වවිද්යාුලට ගිය දවසෙ අපි සතුටු වුනාට වඩා දුක් වුනා. කෙල්ල මාව බදාගෙන ඇඩුවා නතරවෙන්න බෑ කියල. මට කෙල්ල අරන් එන්න හිතුනත් ජීවිතයට මූණ දෙන්න ඕන නිසා කදුළු හංගගෙන එන්න ආව. ඒත් ඩිංග එහා මෙහා වෙන්න බෑ, කෙල්ල ගෙදර දුවන් එනව. එදාට ඉතිං ගෙදර මගුල් ගේ වගේ තමයි. දූගෙ අම්මටත් එදාට වෙන දේක නිනවුවක් නෑ. උන්දැ කියනව කෙල්ල දැන් තවත් හැඩවෙලා කියල.
කොහොම හරි කෙල්ල ගිහින් දැනට අවුරුදු දෙකක් විතර වෙනව. කෙල්ලට ඉස්සර වගේ දැන් ගෙදර එන්න වෙන්නෙ නෑ, වැඩ වැඩිලු. අපට ඉතිං ඕව තේරෙන එකක් යෑ.
දැන් ඒ කාලෙ වගේ ගිරවුන්ගෙත් සද්දයක් නෑ. උන්ටත් පාළු ඇති මයෙ හිතේ. ඒකට ගේක දොරක නිනවුවක් නැති රැහැයියෙක් මට මෙතනින් යන්න කියන්න වගේ තොර තෝංචියක් නැතුව කෑ ගහන්න අරගෙන. අඹ ගහේ පහළ අත්තකට වෙලා යන්න අමතක වෙච්ච ගිරිවු ජෝඩුවක් තනියම කතාවක. උන්ට රෑ වුණ බවක්වත්, මම මෙතන ඉන්න බවක්වත් නිනවුවක් නෑ. උන්දැගෙ ඇස්වල කදුළු. ගම්මු චූටි දූ ගැන මොනවද කතාවෙලා. ඒ කොහොම වුනත් මට මගෙ කෙල්ල විස්වාසයි. ඒකි මගෙ අතේ හැදුන කෙල්ල. ඒත් මට බයයි. ඒකි තාම පොඩි එකී...

TOPEE
(සංහිද)

1 comments:

සඳා said...

හදවත සසල කරන වචන පේළි ටිකක්......සරසවිය කියන්නේ මගෙ ජීවිතෙත් මට පෙන්නලා දුන්න තැන.....එතනට මගේ තියන ආදරය හා බැදීම සදාකාලික දෙයක් වගේ.මම අද තමයි මේ බ්ලොග් පිටුවට ආවේ....දිගටම ලියන්න සුබ පැතුම්!

Post a Comment

 
^ ඉහලට යන්න ක්ලික් කරන්න